Saturday, 23 November 2019

චීනයේ ජනාධිපති‍ලගෙන් හරි අපූරු පාඩමක්

ධරණීය වදන්, සිතුවිලි යථාර්ථයන් කරමු.

ලෝකයේ විශාලතම සහ ධනවත්ම ආර්ථිකය හිමි රට වන චීනයේ ජනාධිපති ධුරය දරනුයේ ෂී ජින්පින් විසිනි.
ඔහු එක්තරා අවස්ථාවක දී තමන්ට තමාගේ පියා විසින් ඉගැන් වූ හරි අපූරු පාඩමක් ගැන කියා තිබුණා.
ඔහුගේ පියාත් කොමියුනිස්ට් පක්ෂයේ ඉතා ඉහල නිලයක් දැරූ පුද්ගලයෙක්. දරුවන් දෙමව්පියන්ට පාඩම් ඉගැන්විය යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙනුත් මේ කතාව පාඩමක් වෙනවා. ෂී ජින්පින් ජනාධිපතිවරයාට අනුව ඔහු කුඩා කාලයේ ඉතාමත් ආත්මාර්ථකාමී දරුවෙක්. මම පමණක්, මට පමණක් යන සිතිවිල්ලේ සිටි නිසාම, තමන්ට යහළුවන් බොහෝ සෙයින් අහිමි වූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙතැන් සිට ලියැවෙන්නේ ඔහු කියන ඒ කතාව...

මම ඇත්තටම අනික් දරුවන්ට වඩා ආත්මාර්ථකාමී දරුවෙක්. මගේ ජීවිතයේ මේ වැරැද්ද හදාගන්න හේතු වූයේ මගේ පියා මට කියා දෙන ලද ජීවිතය පිළිබද පාඩම් තුනක්. දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බදුනක් තෝරා ගන්නැයි සන් කලා. මා වහාම බිත්තරය තිබුණු බදුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බදුන හිස් වෙනවිටයි මට පෙනුනේ තාත්තාගේ නූඩ්ල්ස් බදුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනිමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. මෙන්න මේ පාඩම ඔහුට දැඩිව ධාරණය වී තිබුණා. හැබැයි දෙවැනි දවසේ ඔහුට මේක නිවැරදි කරගන්න අවස්ථාවක් තාත්තා ලබා දීලා තිබුණා.

දෙවැනි දවසේත් තාත්තා අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් රැගෙන ආවා. නමුත් එවර මම හිතුවා මම ඊයේට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ කියලා. මම වහාම බිත්තරයක් මතුපිට නැති බදුන තෝරා ගත්තා. ඒත් ඒකේ පතුලේ බිත්තර දෙකක් තියා එකක්වත් තිබුනේ නෑ. බලාපොරොත්තු කඩ වූ මගේ මුහුණ දිහා බලමින් මගේ තාත්තා මෙසේ කිව්වා. මගේ දරුවෝ මතක තියා ගන්න, ජීවිතයේ ලබන අත්දැකීම් හා සිදුවීම් හැමවිටම එකවාගේ වේවියැයි අනුමානයෙන් වැඩ කරන්නට එපා. ජීවිතය විවිධ අවස්ථාවල දී අපව රවට්ටනවා. හැබැයි අප ඒ පාඩම ඉගෙන ගත යුත්තේ මේ ආකාරයෙන් මුලාවේ වැටීමෙන්ම තමයි. ඒවා පොත්වලින් ඉගෙන ගන්නට බෑ. හැමවිටම එකම ආකාරයෙන් වැඩ නොකල යුතු යැයි එවර ෂී ජින්පින් කුඩා දරුවා ඉගෙන ගත්තා. එබැවින් තාත්තා තුන්වැනි දවසේ අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබූ වේලේ වඩාත් කල්පනාකාරීව තීරණයක් ගැනීමට ඔහුට සිදුවුණා.



තාත්තා ඔයා අපේ පවුලේ ප්‍රධානියා. අපි හැමටම වඩා උඩින් ඉන්නේ ඔයා. ඔයා ඉස්සර වෙන්න. මුල්ම නූඩ්ල්ස් බදුන ඔයා ගන්න. මම ඉතුරු වෙන එක ගන්නම්. තාත්තා බිත්තරයක් උඩින් තිබූ බදුන අතට ගත් වේලේ මගේ හිත කිව්වා මගේ බදුනේ පතුලේ බිත්තරයක් තියෙන්න බෑ කියලා. නමුත් නූඩ්ල්ස් බදුනේ අඩක් හිස් වද්දි මට පෙනුනා බිත්තර එකක් වෙනුවට දෙකක් ඒකේ තියෙනවා කියලා. මම හරිම ආසාවෙන් ඒක අනුභව කලා. තාත්තා ඒ වෙලාවේ තමයි මට වැදගත්ම පාඩම කියලා දුන්නේ. ඔහු මෙහෙම කිව්වා. පුතා, කොයිතරම් තරගකාරී වාතාවරණයක දී උනත්, අනික් මිනිස්සු ගැනත් හිතලා වැඩ කලොත්, අන්න එතැන දි සොබා දහම ඔබට හොදම දේ දෙන්න පටන් ගන්නවා.
ෂී ජින්පින් ට ලැබුණු මේ උපදෙස් මම හිතන්නේ ලොව බලවත්ම රාජ්‍යයක බලවත්ම අසුනක් දක්වාම උසවා තබන්නට හේතු කාරණා වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. අපි හැමවිටම තරගයක නිරත වෙද්දි ගොඩ බදාගන්නට යෑම හරහා අපිට උරුම වෙන ජයග්‍රහණය බොහෝ කාලයක් සැමරිය හැකි දෙයක් නොවෙයි. ඒ නිසා ජයග්‍රහණ සොයා යන ගමනේ දී දෙමව්පියන් උනත් කල යුත්තේ දරුවන්ට ආත්මාර්ථකාමීත්වයෙන් තොරව තමන්ගේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සදහා පාර කියා දීමයි කියන එක මම තරයේ විශ්වාස කරනවා.
වර්තමාන ලෝකයේ දී අපි දකින්නේ යම් කිසි විෂයකට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත, පන්තියේ වෙනියා මත දරුවන්ගේ වටිනාකම තීරණය කරනා දෙමාපියන් හා වැඩිහිටියන්. පන්තියේ පලමුවැනියා වෙන දරුවා වඩාත් වර්ණනා කරමින්, පස්වෙනියා හෝ හය වෙනියා වෙන දරුවා පහතට ඇද දමන දෙමාපියන් මට හමු වී තිබෙනවා. නමුත් වඩාත් වැදගත් වන්නේ යාන්ත්‍රික වෙන දරුවන්ට වඩා හැගීම් දැනීම් ඇති, සංවේදීභාවය ඇති දරුවන් වඩ වඩාත් ලෝකයට නිර්මාණය කිරීමයි කියන එක මේ කුඩා කතාවෙන් අපූරුවට පැහැදිලි වෙනවා. සේවකයින් තලා පෙලා තමන්ගේ මඩිය තර කර ගන්නා ව්‍යාපාර, අතිරික්ත ලාභයන් වෙනුවෙන් පාරිභෝගිකයින් ගසා කන ව්‍යාපාර, තමන්ගේ කාර්යාලයේ සහෝදර සේවකයින් පසුකිරීම වෙනුවෙන් ඉහලට කේලාම් කියමින් උසස්වීම්වලට ඉණිමං හොයන සේවකයින් හරි වේගයෙන් විටෙක ඉදිරියට යන බව පේන්න තිබෙනවා තමයි. ඒත් තමන් උපයන ආදායම සේවකයින්ටත් ප්‍රතිලාභයක් බවට පත් කරවන ව්‍යාපාර, පාරිභෝගිකයාට උපරිම සාධාරණයක් කරන ව්‍යාපාර වගේම සාධාරණ මාර්ගයෙන් ඉහලට යන්නට උත්සාහ කරන සේවකයින් ලබන ජයග්‍රහණ කල් පවතිනවා කියන එකයි සොබාදහම අපට යලි යලිත් ඔප්පු කරමින් තිබෙන්නේ.

භාතිය අර්ථනායක
මානසික අභිප්‍රේරක/පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

Monday, 22 July 2019

ජපානයේ සීඝ්‍ර දියුණුවට බලපෑ ප්‍රධාන සාධකය



==================
"ලෝකය ම මෙහිදී දකින්නේ ජපානය දියුණු වුණේ මහන්සි වෙලා වැඩ කිරීමෙන් කියලයි. ඒකේ වරදකුත් නැහැ. නමුත් මම විශ්වාස කරන්නේ ජපානය වේගයෙන් දියුණුවෙන්න බලපෑ ප්‍රධාන සාධකය වුණේ අලුත් අදහස්වලට තැනක් දීම කියලයි. ඔවුන් වැඩිපුර නව අදහස්වලට තැන දුන්නා. නව නිර්මාණ අලුත් ක්‍රමවේද ආදියෙන් රටේ සෑම අංශයක ම කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු යෙදුවා. සමාගම්වලින් පුද්ගලික අංශයෙන් පර්යේෂන සහ සංවර්ධන කටයුතුවලට මුදල් වැය කළා. මම වැඩ කළ හිතාචි සමාගමත් මේ විදිහට නව පර්යේෂණවලට වැඩි කාලයක් මුදලක් වැය කළ සමාගමක්.අනෙක ජපන් අධිරාජ්‍යයා ඇමෙරිකාවෙන් සමාව ගත් නිසා ඇමෙරිකාවත් ජපානයේ සංවර්ධනයේදී පසු කාලීනව යම් සහයක් දැක්වූවා.

ඇමෙරිකාවටත් ඕන වුණේ ජපානය පූර්ණ ප්‍රජාතන්තවාදී තත්ත්වයක දුවන්න. නමුත් මේ සමඟ වුණු දෙයක් තමයි ජපානයේ කම්කරු සංවිධාන ශක්තිමත් වීම. වාමාංශික කඳවුර ජපානය තුළ ශක්තිමත් වීම වගේ දේවල්. නමුත් එය දේශපාලනික වශයෙන් රුසියානු හිතකර පසුබිමක් නිර්මාණය වුණා. නමුත් ජපානයටත් ඇමෙරිකාවටත් මේ සඳහා අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ නිසා ඒ පසුබිම මුලින්ම පාලනය කළා.
ජපානය මේ සමඟ අනුගමනය කළ තවත් පියවරක් තමයි රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ලිහිල් නොකිරීම. විදේශයෙන් එරට විදෙස් සංචිත ආරක්ෂා කර ගන්න වැඩ කළා. භාණ්ඩ ආනයනය සීමා කළා. සල්ලි තිබුණත් මිනිස්සුන්ට ඕන විදිහට බඩු භාණඩ ගැනීමේ අවස්ථාවක් මුලදී තිබුණේ නෑ. ඔවුන්ට සලාක ක්‍රමයකට තමයි භාණ්ඩ මිල දි ගන්නට අවස්ථාව ලබා දුන්නේ. තමන් මාසෙකට වියදම් කරන්න ඕන මුදල වගේ දස ගුණයක් ඔවුන් ඉපැයිය යුතුය යන සංකල්පය ගෙනාවා. එයින් මිනිස්සු වැඩි වැඩියෙන් උපයන්න මහන්සිවෙලා වැඩ කරන්න ගත්තා. අනෙක් අතින් රටේ කෘත්‍රිම ව උද්ධමනයක් ඇති කළා. මෙම උද්ධමන තත්ත්වය රටේ නිෂ්පාදිත භාණ්ඩ විදේශයන්ට විකිණීමේ දී අපනයනකරුවන්ට හිතකර තත්ත්වයක් අති වුණා.

මේ අතරේ කර්මාන්ත දියුණු කිරිමට අවශ්‍ය සියලු නව අදහස් සැලසුම් දියත් කළා.සෑම නිර්මාණයක ම ප්‍රධාන අරමුණ වුණේ කාර්යක්ෂමතාව වැඩි කිරිම. ඔබ දන්නවා ලංකාවෙත් තිබෙනවා හිතාචි දුම්රිය එන්ජින්. මෙම දුම්රිය එන්ජින් ජපානයට ගැළපෙන ලෙස සංයුක්ත යාන්ත්‍රණ ක්‍රමවේදයකට දියුණු කිරිමේදී අපිටත් සැහෙන්න වෙහෙසි වැඩ කරන්න වුණා. නිතර නිතර අත්හදා බලමින් අලුත් නිර්මාණයන් කරමින් මේ වැඩවල අපට යෙදෙන්න වුණා. සාමාන්‍යයෙන් මුල් කාලයේ අපි සතියකට පැය 100ක් 125ක් වැඩ කළා. සමහර දවස්වලට මම ගෙදර ගියේවත්නෑ. කාර්යාලයේ මුල්ලක තිබුණු පොඩි ඇඳක ටිකක් වෙලා නිදාගෙන ආයෙත් වැඩ කළා.

අපි නිවාඩු ගත්තේ නැති තරම්. මම හිතාචි සමාගමේ වැඩ කරනකොට අහම්බෙන් නිවාඩුවක් ලැබුණ දවස අද වගේ මතකයි. එදා වැඩ වර්ජනයක් නිසා මට වැඩට යන්න බැරිවුණා. මේ නිසා මම බිරියයි ළමයි දෙන්නනයි එක්ක එදා ට්‍රිප් එකක් ගියා. මේක මතක හිටින්නේ අපි වැඩ නොකළ දවස් ඒ තරම්ම අඩු නිසයි.
ජපනුන්ට වැඩ කිරීමේ හොඳ සංස්කෘතියක් තිබෙනවා . තමන්ට දෙන ඉලක්කය සපුරා ගන්න බැරි නම් එය ඔවුන්ට මඳිකමක් කියලයි හිතන්නේ. ඒ නිසා ඔවුන් තමන්ට පවරන කාර්යය අංක එකට තියල පුදුම කැපවීමකින් වැඩ කරනවා. එය ජපන් සංස්කෘතියයි.

ජපානයේ දියුනුවට බලපෑවේ වෙන මොකක්වත් නෙවෙයි ජපානයේ අද්විතීය අසම සම චින්තන රටාව. සෑම විටෙක ම අලුත් අදහස්වලින් දියුණු වෙන්න බැලිම.සමහරු කියනවා ජපානය බටහිරින් කොපි කරනවා කියල . ඒක වැරදියි. ජපානය හැමවිටෙකම පවතින දෙයට වඩා උසස් දෙයක් දියුණු කළ දෙයක් තමයි ලෝකයට දෙන්නට බලන්නේ. අපි සාර්ථක වුණු සෑම ක්ෂේත්‍රයක ම මෙම ලක්ෂණය තිබෙනවා.
 
දියුණුවට බලපෑ අනෙක් කරුණ ජපානය සෑම භාණ්ඩයක් ම නිෂ්පාදනය කරද්දී අඩු වියදමකින් උසස් ම ගුණාත්මක බව ලබා දෙන්නට උත්සාහ කළා. අපේ නව නිර්මාණ බොහෝමයක ඉලකක්ය වුණෙත් එයයි.
අපේ රටේ වැඩකරන තැන්වල බොහෝ අදහස් ක්‍රමවේද දියුණුවෙලා තිබෙන්නේ පහළ සිට ඉහළට. එයින් ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම ධුරාවලියක පහළ ම සිටින පුද්ගලයාටත් තමන් කරන කාර්යයේ බරපතලකම වගකීම ගැන අවබෝධයක් ඇති වෙනවා. ඔවුනුත් මේ ක්‍රියාවලියේ කොටස්කරුවන් කියන අදහස ඔවුන්ට තිබෙනවා.

අධ්‍යාපනයේදි වේවා, නිෂ්පාදන ක්‍රියාවලියේදි වේවා වාණිජ ප්‍රතිපත්ති හෝ ඕනැම ක්ෂේත්‍රයක ගැටලු නිසි ලෙස හඳුනා ගැනීමේ ඒවා වාර්තා කිරිමේ සහ ඊට අදාළ නිසි විද්වත් විසදුම් ප්‍රකාශයකට පත් කිරීමේ හොඳ යාන්ත්‍රනයක් ජපානයට තිබුණා. මේ නිසා ඉතා ඉක්මනින් ඕනෑ ගැටලුවකට සම්පූර්ණ විසඳුම ලබා ගන්නට පුළුවන් වුණා. එයත් රටේ තිබුණු හොඳ ලක්ෂණයක්."

- ඉංජිනේරු ආචාර්ය, මහාචාර්‍ය ටොමිජි වටාබේ (අවු.95)

                                 " ජයග්‍රාහකයා යනු කිසිවිටෙකත් අත්නොහරින සිහින දකින්නෙකි." "A winner is a dreamer, who...